සුෆිවාදය යනු ඉස්ලාම් ආගමට අයත් ආධ්‍යාත් මික නිකායක් වන අතර එහි ඉතිහාසය 03 වැනි හා 09 වැනි ශතවර්ෂ දක්වා විහිදේ. සුෆි සාන්තුවරු ගිහි ජීවිතය අතහැර, සරල භාවනානුයෝගී ජීවිතයක් ගත කරති. භක්ති ගීත හා කවි ලියා ඒවා අල්ලාගේ නාමයෙන් ගායනා කිරීම මගින් දෙවියන් සමග ඍජු සබඳතාවක් ගොඩනගා ගත හැකි වග සුෆි බැතිමත්තු දැඩිව විශ්වාස කරති. දෙවියන් හා ගුප්ත ලෙස ඒකාත්මිකවීමට නම් භාවනාව හරහා මමත්වය නැති කළ යුතුය. සුෆි බැති ගී දෑත් විහිදා මිහිරි ලෙස ගායනා කිරීම යනු දෙවියන්ට හදපත්ළෙන්ම ආදරය පිරිනැමීමයි.
සියලු ලෞකික තෘප්තීන් අතහැර දෙවියන්ට ප්‍රේම කිරීම සුෆිවරුන් හඳුන්වන්නේ ‘ඉෂ්ක්’ ලෙසය. මෙය ගැහැනු, පිරිමි අතර හටගන්නා හැඟීම්බර ආලයට වඩා වෙනස් එකකි. එක් දිනක සිය පෙම්වතියට දැඩි සේ ආදරය කරන පෙම්වතෙකු ඊළඟ දවසේ ඇගේ දොසක් දැක ඇයට සැබැවින්ම වෛර කරයි. වරෙක ඇය වෙනුවෙන් දිවි පිදීමට පවා කැපවන ඔහු තවත් විටෙක ඊර්ෂ්‍යාවෙන් උමතු වී ඇය මරා දැමීමට තැත් කරයි. ‘ඉෂ්ක්’ යනු ආත්මාර්ථය අබිබවා ගැඹුරටම ගමන් කරන දිව්‍යමය ප්‍රේමයකි. අදහන්නාගේ ආත්මය පතුලේ තැන්පත්ව තිබෙන මේ ආධ්‍යාත්මික දේව ප්‍රේමය, බැති ගී ඔස්සේ අවදි කොට ඔහු/ඇය දිව්‍යමය ධ්‍යානයකට කැඳවාගෙන යාම සුෆි ගායකයාගේ පරිචයයි.
පාකිස්තානයේ පන්ජාබ් හා සින්ද් පළාත්වල මෙවැනි බැති ගී ගයන අය හැඳින්වෙන්නේ ‘කව්ලි’ ගායකයන් ලෙසය. කව්ලි ගායක කණ්ඩායමක් සාමාන්‍යයෙන් සංගීතඥයන් 08ක් හෝ 09කගෙන් සමන්විත වේ. සර්පිනා දෙකක්, තබ්ලා දෙකක් හා ඩොලැක්කි දෙකක් බොහෝ විට මෙහිදී භාවිත වෙයි. ප්‍රධාන ගායකයාට අත්වැල ඇල්ලීම පිණස හතරදෙනකු පමණ යොදා ගැනේ. එරමිණියා ගොතාගෙන පේළි දෙකකට වාඩිවී සිටින සංගීත කණ්ඩායමේ මුල් පෙළ ප්‍රධාන ගායකයාගෙන්, සර්පිනා වාදකයාගෙන් හා අත්වැල අල්ලන්නන්ගෙන් (සහාය ගායක කණ්ඩායම) සෑදී තිබේ. තබ්ලා හා ඩොලැක්කි වයන අය සිටිනුයේ පසු පේළියේය. සාමාන්‍යයෙන් එක් කවිලි ගීතයක් මිනිත්තු 15 හා 30 අතර කාලපරාසයක ගැයෙන අතර සමහර ඒවා ඊටත් වඩා දිගය. ඉතා මෘදු හා සෞඛ්‍ය ලෙස ඇරඹී, ඉනික්බිති ඉහළ ස්වර වෙත ගමන් කරන කව්ලි ගීතය, ගායකයන් මෙන්ම ප්‍රේක්ෂකයන්වද මෝහනීය ධ්‍යානයක් කරා ගෙන යයි. දක්ෂ කව්ලි ගායකයා සිය බැති ගී ශ්‍රවණය කරන්නාව ආධ්‍යාත්මික ප්‍රමෝදයෙන් හා දේව භක්තියෙන් මුසපත් කරයි. අන්‍ය ආගමිකයන් සමග සාමයෙන් හා සහෝදරත්වයෙන් ජීවත්වීටම සුෆි මුස්ලිම්වරුන්ට හැකිවී තිබෙන්නේ, මෙම සම්භාව්‍ය හා දිව්‍යමය සංගීතය ඔස්සේ ඔවුන් සංවේදී හා කරුණාවන්ත මිනිසුන් බවට පත්ව ඇති හෙයිනි.
සබ්රිගේ කලාව
1976 දෙසැම්බර් 23 දින පාකිස්තානයේ කරච්චි නුවරදී උපත ලැබූ අමිජාඞ් ෆරීඞ් සබ්රි, වයස අවුරුදු නවයේදී පමණ කව්ලි සම්භාව්‍ය සංගීතය හැදෑරීම ආරම්භ කළේය. ලෝ ප්‍රකට කව්ලි සංගීතඥයන් දෙපළක් වූ තම පියාට (ගුලාම් සබ්රි) හා මාමාට (මක්බූල් සබ්රි) සුෆි බැතිමතුන් කෙතරම් ආදරය කරනවාද යන්න අමිජාඞ් සබ්රිට කුඩා කල පටන්ම හොඳින් වැටහුණි. එහෙයින් ඔහුගේ සංගීත ගුරුවරුන් වූයේ පියාණන් හා මාමාය.
මෝගල් අධිරාජයෙකු වූ ජලාල් අක්බාර්ගේ මාලිගයේ රාජකීය සංගීතඥයා ලෙස කටයුතු කළ මියාන් ටැන්සෙන් (1506-1586), සබ්රි සංගීත පරම්පරාවේ මුල් පුරුක ලෙස සැලකේ. ටැන්සෙන්ගේ මුල්ම ගායනයා අසා අමන්දානන්දයට පත්වුණු අක්බාර් රජු ඔහුට රන් පවුම් ලක්ෂයක් තෑගි වශයෙන් පිරිනමනු ලැබීය. කුඩා අම්ජාඞ් සබ්රිගේ දෛනික සංගීත පුහුණුව ආරම්භ වූයේ පාන්දර හතරටය. කව්ලි යනු ලෞකික සංගීතය අබිබවා යන දිව්‍යමය රිද්මයක් බව ඔහුගේ පියා ඔහුට නිරතුරුවම මතක් කර දුන්නේය. ‘ශුද්ධ වූ ක්ෂේම භූමියේ රජුනි” යන තේමාවෙන් යුත් ගීතය තම පියා ගයන විට ප්‍රේක්ෂකයන් පුටුවල හිඳ තාලයට අත්පුඩි ගසමින් දෙපසට පැද්දෙන ආකාරයත්, ඉනික්බිති මුස්ලිම් නොවන අය පවා ‘අල්ලා, අල්ලා’ කියමින් ගායනයට නොදැනුවත්වම සම්බන්ධ වන හැටිත් දුටු අමිජාඞ් සබ්රි, මෙම ලෝකෝත්තර සංගීත කලාවට නිරායාසයෙන්ම ඇලුම් කළේය. සර්පිනාව, ඩොලැක්කිය හා තබ්ලාව සංගීතයේ භෞතික පදනම බවත්, හොඳින් පුහුණු කළ කටහඬ එහි ආධ්‍යාත්මය බවත් හොඳින් අවබෝධ කරගත් ඔහු තම පියා හා මාමා සේ ම ප්‍රේක්ෂකාගාරය ධ්‍යානගත කිරීමේ කලාව හෙමි හෙමින් උගත්තේය. ඔහුගේ ගැඹුරු කටහඬ ආත්ම විශ්වාසයෙන්, සන්සුන් බවින් හා උතුරා යන ප්‍රීති ප්‍රමෝදයෙන් පිරී තිබුණි. ඔහුගේ ගැඹුරු කටහඬ ආත්ම විශ්වාසයෙන්, සන්සුන් බවින් හා උතුරා යන ප්‍රීති ප්‍රමෝදයෙන් පිරී තිබුණි. උසට සරිලන මහතින් යුතු ඔහුගේ කඩවසම් රූපකායට ප්‍රේක්ෂකයෝ බෙහෙවින් ඇලුම් කළහ.
‘බාදේ ජෝලි’ (මගේ පැතුම ඉටු කරන්න, ඔහුගේ ජනප්‍රියම ගීතයයි.)
බලගතු දෙවියනි මෙදිනා දේසේ – පුරවනු මැන අප ඔලොගුව රහසේ
හිස් අතකින් ආපසු යනු කෙලෙසේ – රැඳි රැඳි තුටුවෙමු සදහස් පහසේ
කොහි ගියත් මේ ගීය අනිවාර්යයෙන් ගයන්නැයි ප්‍රේක්ෂකයෝ ඔහුට ඇවිටිලා කළහ. ලොව පුරා විසිරුණු සුෆි ආරාමවලට ගොස් ගී ගැයූ ඔහුට සිය ශ්‍රාවකයෝ මූල්‍ය ආධාර නොමසුරුව පිරිනැමූහ. යස ඉසුරු, යාන වාහන කොතෙක් තිබුණද ඔහු ඒවායින් හිස උදුම්මා නොගත් සරල මිනිසකු ලෙස දිවි ගෙවීය. ආශ්‍රමවලට පමණක් සීමා නොවූ ඔහු, සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම පරිදි ඔවුන් සංවිධානය කරන ‘කව්ලි’ සංගීත සංදර්ශනවලට නොපැකිළව සහභාගි විය. රාමසාන් කාලයේදී හෙතෙම උදැහැන රූපවාහිනී වැඩසටහන්වල සජීවීව සිය ගීත ගායනා කළේය. යුරෝපා හා ඇමරිකානු සංදර්ශනවලට සැක්සෆෝන් හා කී බෝඞ් යොදා ගැනීමේ නවීන චින්තනය සබ්රි සතුව තිබුණි. රූපවාහිනී වැඩ සටහන්වලදී සංවිධායකයන් ආරාධනා කළහොත් විවිධ විනෝදජනක ක්‍රීඩාවලටද නිරතවීමේ හුරුබුහුටි බවද ඔහුගේ සුවිශේෂී චරිත ලක්ෂණයක් විය. ඉන්දියාව හා බංග්ලාදේශයද ඔහුට සැලකුවේ සුපිරි රොක් ගායකයෙකුට සලකන ආකාරයටය. බොලිවුඞ් නිළියෝ ඔහු සමග ඡායාරූපවලට පෙනී සිටියහ. කොතැන වුව සිටින තම රසිකයන් මධුර සංගීතයෙන් හා කන්කලු ගායනයෙන් පිනවාලන සබ්රිගේ නම්‍යශීලී ප්‍රතිපත්තිය, සමහර දැඩි මතධාරී මුස්ලිම්වරුන්ගේ කටුක විවේචනයට බඳුන් විය.
අන්‍ය ආගමිකයන්ට ගරහමින්, දරදඬු නීතිරීතිවලින් මානුෂීය නිදහස හිරකරමින් ඉස්ලාම් දහම ප්‍රචලිත කළ නොහැකි බවත්, කලාව, නර්තනය හා සංගීතය ඔස්සේ අල්ලා දෙවියන් හා ඒකාත්මිකවීමේ සුෆි දර්ශනයට තමන් ඇලුම් කරන බවත්, සබ්රි ප්‍රසිද්ධියේ නොබියව පැවසීය. පුද්ගලයෙකුගේ මමංකාරය සම්භාව්‍ය කව්ලි සංගීතය තුළ කිඳීම ඔස්සේ බෙහෙවින් තුනී කරගත හැකියැයි හෙතෙම අවධාරණය කර සිටියේය.
තර්ක, විතර්ක හා ගල්ගැසුණු සම්ප්‍රදායෙන් අවුල් වූ මනසකට දෙවියන් තබා විලක පිපෙන නෙළුමක සුන්දරත්වය වුව විඳගත නොහැකිය. නෙළුම මෙන්ම දෙවියන්ද ඔබ අබියස දිස්වන්නේ ඔබේ හදවත සියුම් සෞන්දර්යයෙන් හා චමත්කාරයෙන් පිරී ඇත්නම් පමණි. දෙවියන් දකින්නේ හදවත් ඇත්තෝය. සබ්රිගේ මෙම අහිංසක විවෘතභාවය නිසා ආගම් ඇදහූ අය ඔහුගේ සංදර්ශන වෙත ඇදී ආහ. සිය නිවෙස අසල පිහිටි තේ කඩයට ගොස් එතැන කැරම් ගැසීම, වීදියේ ළමුන් හා එක්ව ක්‍රිකට් ගැසීම ඔහුගේ විනෝදාංශ විය. මේ නිහතමානී ගුණය, ඔහුව ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම තල්ලු කළේය. කව්ලි සංගීතය හරහා ඉස්ලාම් දහම විකෘති කරන සුෆිවරුන්ට පාඩමක් ඉගැන්විය යුතුයැයි පාකිස්තානයේ වෙසෙන අන්තවාදී තලේබාවරුන් තීරණය කළ අතර ඔවුහු කරච්චියේ පිහිටි සුෆි ආරාම ගණනාවක් බෝම්බ ගසා විනාශ කළහ. පාකිස්තානු ආණ්ඩුව මේ ප්‍රහාර පිළිබඳව නෑසූ කන් ඇතිව කල්ගත කළේ රජයේ බලධාරීන්ගේ බහුතරයක්ද තලේබාන් අන්තවාදී දර්ශනයට උඩගෙඩි දුන් හෙයිනි.
Comments
Post a Comment